Tuesday, April 10, 2018


ශ්‍රමය නිසරු වෙයි........


කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත සාගරයේ අක් මුල් සොයා යන මෙම අධ්‍යාපන මාවතේ ගමන් කරන දරුවන්ගේ මහමෙරක් තරම් ඇති ගැටළු සහ අධ්‍යාපනයේ පවතින් යම් යම් ගැටළු සම්බන්ධව බලධරයන්ගේ අවදානය යොමු නොවීම පුදුම සහගත දෙයකි. අධ්‍යාපන ලබන කුඩා දරුවකුට ඔහුගේ ජීවිතයේ ප්‍රථම අභියෝගය වන්නේ ශිෂ්‍යත්ව කඩයිම සඳහා මුහුණ දීමයි. දෙමාපියන්ගේ විභාගය ලෙස හදුන්වන මෙය දරුවන් සළකන්නේ ඔවුන්ගේ අභාගයක් ලෙසයි. ශිෂ්‍යත්වය තුළින් ගොඩනැගෙන ශිෂ්‍යයාගේ දෙවන කඩයිම වන්නේ සා පෙළ විභාගයයි. සා පෙළ විභාගය සමත්වීමෙන් පසුව ශිෂ්‍යයින් යොමු වන්නේ උ පෙළ සඳහායි. උසස් පෙළ විභාගය සමත් වීමෙන් අනතුරුව උපාධි අපේක්ෂකයින් ලෙස විශ්ව විද්‍යාලය සඳහා තේරී පත්වෙයි. විශ්ව විද්‍යාල වරම් ලබා ගත් විද්‍යාර්ථයන්ගේ එකම අභිප්‍රාය වන්නේ අසමත් නොවී කෙසේ හෝ උපාධිය ලබා ගැනීමයි. ඒ නිසා ඔවුන් එම කාල සීමාව තුළ අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට රැකියාවක් සිදු කිරීමට නොහැකිය. රැකියාව සිදු කිරීමට අවශ්‍ය වුවද ඔවුන්ට රැකියාව සිදු කිරීම සඳහා ඉඩ පහසුකම් නොමැත. විශ්ව විද්‍යාලය තුළ ගත කරන ජීවිතය ඔවුන් වැය කරන්නේ අධ්‍යාපනය සඳහා පමණි.

නමුත් භාහිරින් උපාධිය සමත් කර ගන්නා අනෙකුත් උපාධි අපේක්ෂකයන්ට විශ්ව විද්‍යාලය තරම් පහසුකම් නොමැති වුවත් ඔවුන් වැඩි වශයෙන් යොමු වන්නේ ටියුෂන් ගුරුවරයාගේ පිටපත කට පාඩම් කරමින් උපාධිය ලබා ගැනීමයි. නමුත් මෙම ක්‍රමවේදයන් දෙකෙහිම අවසානයන් සමාන වෙයි. අපහසුවෙන් වෙහෙස මහන්සි වී උපාධිය ලබා ගන්නා ශිෂ්‍යයාටත් ටියුෂන් ගුරුගෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයාටත් උරුම වන්නේ එක හා සමාන තත්වයකි. ඔවුන් දෙදෙනාගේ උපාධිය ලබා ගන්නා ආකාරය එකිනෙකට වෙනස් වුවද අවසානයේ ඕනෑම පුද්ගලයකුගේ අපේක්ෂාව වන රැකියා ලබාදීමේදී එකම ක්‍රමවේදයක් ඇත. එනිසා ඔවුන්ට රැකියා පෝලින් වල එකට සිට ගැනීමට සිදු වෙයි. අවුරුදු ගණනාවක් පවතී රැකියා අර්භුදයට විසදුම් සෙවීමට එකම රජයකටවත් හැකියාවක් නොමැත. ඒ නිසා විරැකියාවෙන් යුතු බොහෝ උපාධිදාරීන් පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටී. ලංකාව තුළ රජයේ විශ්ව විද්‍යාල තුළ උපාධිධාරීන්ට නව රැකියා ලබාදීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. උපාධිය සඳහා රැකියාවකට වඩාත් ගැළපෙන සුදුසු පාඨමාලාවක් ලබා දිය යුතුය. එවිට ඔවුන්ට රැකියා පෝලින් වල සිටීමට අවස්ථාවක්  නොමැත.

ලංකාව තුළ විශාල පිරිසක් සඳහා රැකියා පෝලින් වල සිටීමට සිදු වේ. එම නිසා රැකියා විරහිත උපාධිදාරීන් සඳහා විවිධ ගැටළු මතු වී ඇත. නමුත් ලංකාවේ ඉතා අපහසුම විභාගය ලෙස හැඳින්වෙන උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාලය වෙත ශිෂ්‍යයන් ගමන් කරන්නේ නොයෙකුත් බලාපොරොත්තු සහගතවයි. එම බලාපොරොත්තු විශ්ව විද්‍යාලයෙන් බැහැර වූ පසුව බිදී ගොසින් ඔවුන් විවිධ රැකියාවන්ට යොමු වීමේ ප්‍රවනතාවයක් ඇත. උපාධිදාරීන් සඳහා විශේෂ පුහුණුවක් ලබා දිය යුතුය. ඔවුන් අධ්‍යයන කාල සීමාව තුළ වැඩි ඉඩකඩක් ආයතනික පුහුණුව සඳහා යොමු කළ යුතුය. විශ්ව විද්‍යාලය සඳහා වඩා වැඩි සංඛ්‍යාවක් සම්භන්ධ කර ගනිමින් ඔවුන්ව නඩත්තු කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැති නම් විශ්ව විද්‍යාල සඳහා එතරම් පිරිසක් බඳවා ගැනීම නොකළ යුතුය. බල ධරයන්ගේ ඇස පෑදිය යුතු අවස්ථාවකි. අවධානය යොමු විය යුතු අතර ඉතා ඉක්මනින් මේ සඳහා පියවර ගත යුතුය. සුවිශේෂී ශ්‍රම බලකායක් සිටියදී ශ්‍රමයෙන් ප්‍රයෝජණයක් නොගැනීම මෙරට අඩුපාඩුවකි.


Friday, July 21, 2017

දෙවනි ඉනිමෙන් දැවෙන අපේ පාසල

අතීතයේ පාසල අපේ පුජනීය ස්ථානයකි. පාසලට අපකීර්තියක් අත් වන කසිම දෙයක් කිරීමට අපේ සිත අපට ඉඩ දෙන්නේ නැත. එවන් සංස්කෘතියක් ඇති රටකට පිට රට පාසල් පද්ධති මෙරට ඇති කිරීමට දරන උත්සාහයකි දෙවන ඉනිම. ලංකාවේ මෙතෙක් බිහි වූ ටෙලිනාට්‍ය පාසල් සිසුන් අරඹයා නිර්මාණය වුවද පාසල් ළමයින්ට අයහපත් බලපෑමක් කරන ටෙලිනාට්‍ය බිහි වුයේ නැත. විදේශීය ටෙලි නාට්‍ය කලාව සම්භන්ධව මීට පෙර නෙල්ලි තුළින් සාකච්ඡා කර ඇත.

පාසල මිනිසෙකු උස් මිනිහෙක් හෝ පහත් මිනිසෙකු කරන ස්ථානයයි. ජීවිතයේ ඉරණමයි. පාසල සම්භන්ධව අතීතය ගත්තද විවිධ ආදරණීය නිර්මාණ බිහි වී ඇත. උදාහරණයක් ලෙස ගොළු හදවත. එම නව කතාව තුළින් එකල සමාජයට බලපෑමක් සිදු වී නැත. එකල සැවොම දම්මි සුගත් වීමට ආස කළද රුපවාහිනී ටෙලි නාට්‍ය මෙන් එය බලපෑම්කාරී වී නොමැත.

දෙවැනි ඉනිම පාසලේ, පන්තියේ කතාබහට ලක් වෙන තරමටම ජනප්‍රිය වී ඇත. නමුත් මෙම ටෙලිනාට්‍ය තුළින් සමාජයට වන බලපෑම පිළිබඳව කිසිවෙක් අවදානය යොමු කර නැත. මෙහි ඉලක්ක ගත ග්‍රාහකයින් වන්නේ පාසල් යන සිසුන්, තරුණ තරුණියන්ය. නමුත් අවබෝධයක් ඇති පුද්ගලයෙක් නම් මෙය නරඹන්නේ තවත් ටෙලිනාට්‍යක් යයි සිතයි. නමුත් පාසල් යන දරුවා මෙය නරඹන විට අතීත කියමනකට අනුව කටේ මැස්සෝ ගියත් ඔහු දන්නේ නැත. මෙම ටෙලිනාට්‍යයට වසඟ වී ඇත. මෙහි යහපත් බලපෑමක් තිබේ නම් ඇත්තේ නාලිකාවේ ජනප්‍රියත්වය, නළු නිළියන් ජනප්‍රිය වීම සහ rating ඉහළ යාමයි.

අයහපත් බලපෑම වැඩි වශයෙන් එල්ල වන්නේ පාසල් සිසුන්ටයි. බොහෝ දෙමවුපියන් වර්තමානයේ දරුවාට ටෙලිනාට්‍ය නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ නැත. නමුත් පාසල් ඇදුම් ඇඳගත් පාසලක සිදුවීම් ජාලයක් හෙයින් දෙමාපියන් දෙවැනි ඉනිම බැලීමට අවසර ලබා දෙයි. පාසල තුළ ගැහැණු දරුවන්ට කොට ගවුම් ඇදීමට අවසර තිබේද? ඇඟට හිර වූ සුදු ගවුම් පාසලට ගැලපෙන්නේ නැත. ගැහැණු දරුවන් make up දමා පාසලට පැමිණේ. පිරිමි ළමුන් ඇඳුම් හිරට අඳි, කොන්ඩේ ජෙල් තවරයි. මේවා අපේ පාසලට ගැලපේද? සිග්මන් ප්‍රොයිඩ්ට අනුව එකම දේ නැවත නැවතත් දැකීමෙන් එය අනුකරණය කරයි. අනිවාර්යෙන්ම වර්තමාන පාසල් සිසුන් අවන්ත, අනුහස්, සමල්කා, දෙවුමි වීමට උත්සාහ ගනී.


එහි සමාජයට ලබා දෙන්නේ කුමක්ද පාසල් යන කාලයේ ප්‍රේම කල යුතුයි. ගැහැණු දරුවන්ගේ බෝඩිමට පිරිමින්ට පැමිණිය හැකියි. එක් සිසුවියක් වෙනුවෙන් අඩ දඹර ඇති කර ගත යුතුයි. දරුවන් පියාට වෛර කල යුතුයි. පියා දරුවන්ට වෛර කල යුතුයි. අද ජනප්‍රිය විය යුත්තේ මේවාද?පාසලේ ගුරුවරුන්ට කිසිම ගෞරවයක් නැත. ගුරුවරුන්ට අනුවර්ත නාමයන් යොදයි. ගුරුවරුන් දෙවිවරුන් ලෙස සැලකු කාලය අමතක කර පාසල් පද්ධතියද විනාශ කිරීමට වත්මන් ටෙලි නාට්‍ය උත්සාහ කරයි. මේවා දැක අපට කියන්නට වන්නේ අබුද්දස්ස කාලේ ලබුත් තිතයි කියායි.
ශෙහානි ලියනගේ
කැලණිය විශ්ව විද්‍යාලය


Sunday, July 16, 2017

සැබෑ ආදරය


තාරුණ්‍යයේ හඬ අවදි කරන්නට තිබෙන ස්ථානයක් ලෙස නෙල්ලි  හැදින්වීමට පුළුවනි. තාරුණ්‍යයේ හද ගැස්ම, දඟකාර සිතුවිලි, සිත තුළ නලියන පොපියන, ගිගුම් දෙන ආදරය යන්න පිළිබඳ අනිවාර්යෙන්ම අදහසක් ඉදිරිපත් කළ යුතු යැයි මට සිතේ.


ආදරය යන්නට නිශ්චිත අර්ථකතනයක් දිය නොහැකිය. ආදරය විවිධ වෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාටත්, සමාජ පරිසරය, ජාන වල බලපෑම් ආදිය මත විවිධ වෙනස්කම් වලට ලක් වන හෙයින් එය එකිනෙකාට අනන්‍ය වූ දෙයක් ලෙස හැදින් වේ. ආදරය විවිධ වේ. දෙමාපිය දූ දරු ආදර සම්බන්දතා, පෙම්වතුන් පෙම්වතියන් අතර ඇති වන ආදර සම්බන්ධතා, සහෝදර සහෝදරියන් අතර ඇති වන ආදර සම්බන්ධතා යහළු මිත්‍රාදීන් අතර යනාදී වශයෙන් විවිධ පද්ධතීන් තුළ ආදරය විවිධ වේ.


මුලින්ම දෙමාපිය දූ දරු ආදරය ගැන අවධානය යොමු කළ විට, අප මෙලොවට බිහි කළ ආදරණීය අම්මා අසීමිත වේදනාවක් දරා ලෝකයේ කිසිවෙකුටත් දැරිය නොහැකි අපමණ වේදනාවක් දරමින් තමා ලේ ධාතුව ක්ෂීරය බවට පත් කොට අපව පෝෂණය කර ඇගේ කුසට අහරක් නැතිව අප කුස පෝෂණය කරන්නේ ලොවේ කරුණාවන්තකමේ ආදරයේ අසිරිය පාමිනි. පියාණන් දහදිය වගුරවමින් ගිනි අව්වේ ගිනියම් පොළොව දෙබෑ කරමින් අපව උස් මහත් කිරීමට අසීමිත වෙහෙසක් මහන්සියක් දරයි.ඔවුන්ගේ ආදරය මෙතකැයි කියා නිම කළ නොහැකිය.



එමෙන්ම වැදු ගමන් වැසිකිලි වලවල් , කුණුගොඩ වල  දරුවන් දමා යන  කුසට දරුවෙකු ආ සැනින් ගබ්සා පෝලිම් වල සිටගන්නා තම සිඟිති දියණියට අතවර කරන නාමයට පමණක් මව්වරුන් පියවරුන් කියා ගන්නා ඇත්තන් ද නැත්තේම නොවේ.

දරුවන් දෙමව්පියන්ට දක්වන ආදරය ඔවුන් ලබා දෙන සෙනෙහසට  සරිලන අයුරින් වියපත්ව මරණයට පත්වන තුරුම ඔවුන් පෝෂණය කර රැක බලා ගන්නා දරුවන්ද ඇත. තවද තමා මවට පොල්ලෙන් ගසා මරා දමන පියාණන්ට කැත්තෙන් පොරවෙන් කොටා දමන වියපත් වූ පසු දෙමාපියන්ට අයත් සියළු සේසතම පවරා ගෙන මහමඟට ගෙන ගොස් දමන දෙමාපියන්ට බල්ලන්ට පුසන්ට දක්වන ආදරය සෙනෙහස තරම් ආදරය නොදක්වන දරුවන්ද අප සමාජයේ නැත්තේම නොවේ.


පෙම්වතුන් පෙම්වතියන්ගේ ආදරය පිළිබඳව අවදානයේදී පෙම්වතුන් පෙම්වතියන් ආදරය කරන කාලයේදී පමණක් ආදර කුරුල්ලන් ලෙසින් සිට විවාහ දිවිය එළබෙන විට වෙනස් වන හදවත් තුළ සැබෑ ආදරයක් පවතිනේ නැත. බුදුදහමේ නකුල පිතා සහ නකුල මතා තරුණ කාලයේ සිට ආදරය කර ඔවුන් වියපත්ව මරණාසන්න මොහොත දක්වාම ආදරය කළේය. එමෙන්ම රාධා ක්‍රිෂ්ණා ,රෝමියෝ ජුලියට්, රාමා සීතා වැනි ප්‍රේම වෘතාන්ත ගත් කළ සැබෑ ආදරය යන්න වටහා ගත හැකිය. සැබෑ ආදරවන්තයන් යනු ජීවිත කාළය පුරාම දුකේදීත් සැපේදීත් එකාවන්ව සිටීමයි.


ආදරය යන්නට සමාන අරුතක් ලෙස සමහරුන් ආලය කියයි. නමුත් ආදරය සහ ආලය අත‍ර ඇත්තේ කෙස් ගසක වෙනසක් යැයි සමහරුන් කියයි. ආලය ලිංගිකත්වය හා බැදේ. ආදරය යන්න මුවාවෙන් තමන්ගේ ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පොරබදින රොදබදින මී මැසි ප්‍රේමවන්තයින් ද සමාජයේ ඇත. ආදරය යන පිවිතුරු පවිත්‍ර වදනට ද නිගරු කරමින් ආදරයේ නාමයෙන් ඔවුන්ගේ වෙනත් ආශාවන් ඉටු කර ගැනීමට පෙළඹේ.








සහෝදර සහෝදරියන් මිතුරු මිතුරියන් ගත් කළද සියල්ලෝම ආදරය  යන්න හදුනා ගත යුතුය. තමන්ට වාසියක් ගෙන දේ සඳහා පමණක් නොව තමන් මුළු මහත් සමාජයටම ආදරය කරයි නම් තමාටද නිරායාසයෙන්ම ආදරය ලැබේ. ආදරය අරගල කර ලබා ගත නොහැකි දෙයකි. තමන්ට ආදරය ලැබෙන්නේ තමන්ද ආදරණීය වුවොත් පමණි.

ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය











Monday, July 10, 2017

සංවර්ධිත වෙයිද ලක් දෙරණ ?


ඉගනීම කටු අත්තකි එහි ඵලය මල් ඉත්තකි වැනි කියමන් ඔබත් අසා ඇත. මෙම වදන් වලින් මවන යතාර්ථය තිබේද යන්න ගැටළුවකි. කටු කොහොල් වලින් පිරි මාවතක දෙමවුපියන්ගේ වෙහෙසින්, දහදියෙන්, කැපවීමේ ඵලය මල් ඉත්තක් කර ගැනීමට ලංකාවේ ශ්‍රමබලකාය දැඩි පරිශ්‍රමයක් සිදු කරයි.

විරැකියාව අද ලංකාව තුළ තරුණ අසහනය ඇති වීමට මූලික පදනමක් වී ඇත. තරුණ තරුණියන් අවුරුදු 15-18 ත් අතර ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි. අනෙක් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ ශ්‍රම බලකායේ ප්‍රයෝජනයක් ගන්නේද? තරුණ තරුණියන්ට තරුණ උන්මාදය, ජවය, ශක්තිය සමඟ ලොව ජය ගැනීමට හැකියාවක් ඇත. නමුත් එයට ඉඩක් අපේ රට තුළ නිර්මාණය වී නොමැත. අපේ රටේ තරුණ තරුණියන්ට නිසි වයසට රැකියාවන් ලැබෙන්නේ නැත.

ලාංකීය තරුණ තරුණියන්ට රැකියා කළ හැකි නිදහස් කාලය තුළ ඔවුන්ට රැකියා නැත. වයස අවුරුදු 30න් පසුව පමණ අධ්‍යාපනික සුදුසුකම් මත රැකියාවක් හිමි වේ. නමුත් ඔවුන්ට ජවයෙන් මොලය වෙහෙසා රට වෙනුවෙන් කිසිඳු දෙයක් කිරීමට හැකියාවක් නැත. මෙරට තුළ උද්ගතව ඇති ප්‍රධාන ගැටළුවක් ලෙස එය හැදින්විය හැකිය. අනෙක් රට වලට වඩා අපේ රට විශේෂ වන්නේ නිදහස් අධ්‍යාපනයේ සෙවන ලැබීමට අපි වාසනාවන්ත වීමයි. නමුත් මෙම ක්‍රමවේදය තුළ අපිට මුහුණ පාන්නට විවිධ ගැටළු ඇත. නිදහසේ අධ්‍යාපනය ලැබීමට හැකියාවක් තිබුණද නිදහසේ රැකියා කිරීමට හැකියාවක් නැත. සුදුස්සාට සුදුසු කාලය තුළ රැකියාවන් ලැබෙන්නේ නැත.

විශ්ව විද්‍යාලය තුළින් නික්මෙන විද්‍යාර්ථයාට රැකියාවකට යාම සඳහා තවත් අවුරුදු ගණනාවක් පෝලින් වල සිටීමට සිදු වෙයි. ලංකාව වැනි රටකට ලංකාවේ ශ්‍රම බලකායෙන් ප්‍රයෝජනයක් නැද්ද? ප්‍රයෝජනයක් නොගන්නේ ඇයිද යන්න ගැටළුවකි.

රට බොහොම අසාරයි- ඉන්න උන්ගේ විකාරයි පිට ඔපයට සුරයි- කම්මැලියි භාර දුරයි පිට රටට වදාරයි- කාපු දේවත් වමාරයි

 G.H පෙරේරා කවියා කවි පදවැල් බැන්දත් මෙරටට සේවය කිරීමෙන් ඵලක් නැතිනම් ඔවුන් වෙතත් රටකට සේවය කිරීම වරදක්ද? වෙනත් රට වල ලංකාවේ බුද්ධිමතුන් සඳහා ඉඩක් ඇත. උදාහරණයක් ලෙස නසා ආයතනයේ අපේ රටේ බිද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් ඇත. ලාංකිකයන් බොහොමයක් පිටරට සඳහා සංක්‍රමණය වේ. ඔවුන්ගේ ශ්‍රමයෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොගන්නා හෙයින් ශ්‍රමය පිටරටට ලබා දෙයි. වරද පාලකයාගේද? පාලනයේද? අද ඊයක නොවේ බොහෝ කලක පටන් මේ තත්වය මෙසේමයි. කෙතරම් ලිපි ලිවුවත් මේ සඳහා පිළියමක් තවමත් නැත.

ලංකාවේ ජනගහනයෙන් කාන්තාවන් වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගනී. එසේ සුදුසුකම් ලැබුවද කාන්තාවන්ට පැවරෙන වගකීම් සමඟ ඔවුන්ට සේවය කිරීම අපහසුය. නමුත් ලංකාව තුළ අධ්‍යාපන සහ රැකියා ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා රැකියා විරහිතයන් ලංකාව තුළ ඇත.

උපාධි ඇති සුදුසුකම් ඇති බොහෝදෙනෙකුට තවමත් රැකියා නැත. එයට වගකිව යුත්තේ කවුරුන්ද තරුණ තරුණියන් සේවයට කැප කළ යුතු කාලය නිකරුණේ කා දමයි. නිසි අධ්‍යාපනයක් ලබා තිබුණද නිසි ප්‍රතිඵලයක් ලබා ගැනීමට උනන්දු නොවේ.

නව නිපැවුම්, නව ක්‍රමවේදයන් සොයා ගන්නා කුඩා විද්‍යාඥයින්ට එම නිපැයුම් ප්‍රවර්ධනය සඳහා වෙළඳපොල සකසා දෙන්නේ නැත. වෙනත් රට වලින් කුඩා විද්‍යාඥයින් මුදලට ගෙන මහා පරිමාණ විද්‍යාඥයින් බවට පත් කරයි. ලංකාව තුළ විරැකියාව, සුදුස්සාට සුදුසු තැන නොලැබීම යන ගැටළු ඇත. රට යන මඟ නිවැරදියි කියා සිතන්නට නොහැක. එය අනාගතයේදී මෙසේම සිදු වෙයි. සංවර්ධනය වෙමින් පවතින රටට කිසි දිනක සංවර්ධිත විය නොහැක. වරද කාගේද? කාගේ වුවද අවධානය යොමුවිය යුතු පැතිකඩකි.
ශෙහානි ලියනගේ

කැලණිය විශ්ව විද්‍යාලය

Thursday, July 6, 2017



                   සසර මඟ

ලෝකයේ එක් මිනිසෙක්ව

මන්ද ජීවයේ දුක් විඳින්නේ

සසර සරණා තුරා

ජීවයේ රිද්මයෙන්දෝ

කල් ගෙවන්නේ

සසර පුරා දුක සැප එකසේ විඳින්නේ

සැපක් වුවද එය දුකක් ලෙසටමයි

දැනෙන්නේ

ආත්මයෙන් ආත්මයට යන සසරේ


කවදාදෝ අප මේ දුක ගෙවන්නේ


ශෙහානි ලියනගේ

කැළණිය විශ්ව විද්‍යාලය

Tuesday, June 13, 2017

වීදිය


හය හතර නොදත්
අයනු ආයනු අකුරු කර නැති
කෙලි කවටකම් මැද
වීදියට වී සිඟාවදිමින්
මුදල් කුමටද?
ගනින්නටවත් බැරි
කෙලිත්තට--------------

කුණු ජරා ගඳ ගසන
වස්ත්‍ර ඇඳ අපිරිසිදු වතින් යුතු
පුංචි මල් කැකුළ
දකින්නන්ගේ සිත් ද වශී කර
අතෙහි ඇති බෙලෙකයට
කාසි එක දෙක වැටෙන තුරු
බලා සිටී නෙත් හැර

අතද පයද කැඩුණු බෝනික්කෙකු
සමඟ
දකින ලද දසුනින්
වීදියේ ජීචිතයේ
දුකද අසරණකමද යන්න
නොවැටහේ මට




ශෙහානි ලියනගේ
කැළණිය විශ්ව විද්‍යාලය



ගිනියම් පොළව නිවා දමමින් වැටුණු 

වර්ෂාව



පසුගිය කාලයේ සමාජයේ වැඩි වශයෙන් ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක් හෙයින් මේ සම්බන්ධව නෙල්ලි bolg එකට ලිපියක් ලියන්නට මා අදහස් කළා ය. හිරු කිරණින් ගිනියම් වූ ලක් දරණි තලය දහඩියෙන් වැගිරුණු මනු කය ,වියලී ගිය ගස් කොළන් මෙන්ම දියා සොයා ඇදුනු සත්වයන් නිවා සනහන්නට වර්ෂාව සමත් විය.



අව් රශ්මියෙන් අධික ලෙස පීඩාවට පත් වූ ජනතාව අපමණය.එම නිසා ජීවිතක්ෂයට පත් වුවන්ද නැතුව නොවේ. එතනින් නතර නොවූ මේ ආපධාව ගස් වැල් ,සතා සිව්පාවන්ද ,ගෙවල් දොරවල් ආදී සියල්ලම විනාශ කරමින් මහා වැස්සක් වැටුණේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදිය. පොසොන් සඳ මෝදු වෙමින් පවතින විට පවතින විට වර්ෂාවත් සමඟ ගිනියම් පොළව නිවා දමමින් වැටුණු වර්ෂාවත් සමඟ පොසොන් සමරන්නට ලක ලැස්ති වුයේ මෙවැනි ආපධාවක් සිදු වේ යැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ නිසාය.

නමුත් කිසිවෙකුත් නොසිතූ අන්දමින් එක් ක්ෂණයකින් මුළු රටා පාහේ විනාශය කිරීමට මහා වැස්සක්  සමත් විය. වැව් ,ජලාශ ආදියේ ජලය පිරී ඉතිරී යෑම හේතුවෙන් වාන් දොරටු විවෘත කිරීමත් සමඟම කිසිදා යට නොවූ ප්‍රදේශ පවා මහ වැස්සට යට වුණි. මිනිසුන්ගේ ජන ජීවිතය මෙන්ම ජීවිත හානිද ඇති විය. බලාපොරොත්තු නොවූ පරිදි මහා විනාශයක් ලක් දරණි තලයට සිදු විය. බලාපොරොත්තු නොවූ වර්ෂාව සහ මහා විනාශය හේතුවෙන් මිනිසුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමට කෙතරම් වෙහෙසක් දැරිය යුතුද?




එමෙන්ම විපතට පත් වුවන්ට සහන සැලසුවන් අගය කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුය.ලාංකීය මිනිසාගේ මනුස්සකම ,මිනිසත් බව ,පරිත්‍යාගශීලිත්වය ,ආදිය මැනවින් නිරූපණය වුයේ මහා බඩු මළු කඳ බැඳගෙන ආධාර ගෙන ගොස් දීමෙනි.
මෙවැනි මිනිසත්කමින් පිරුණු ඇත්තන් බොහොමයක් සිටින රටේ මෙසේ අමන පහත් වැඩ කරන සුළුතරය ගැන සදහන් කිරීමද සිදුකල යුතුය. මන්ද ආගම දහම ඉහළින් අදහන රටක් ලෙස උදේ සවස අදින්නාදානා සිල්පදය සමාදන් වෙමින් දෙවියන් අදහන විපතට පත් වුවන්ගේ නිවෙස් වලට පැණ රත්ත්‍රන් මිල මුදල් කොල්ල කන පිරිස්ද නැත්තේම නොවේ.

එකම රටක් ලෙස ජාතියක් ලෙස අත් වැල් බැඳ සැවොම සිටිය යුතු මොහොතක මෙවැනි දේ සිදුවීම හදවත් කම්පා කරවන සුළුය. ජීවිතක්ෂයට පත් වුවන්ට විපතට පත් වුවන් නැවත නගා සිටුවීම සඳහා අපි සැවොම එක මව් තුරුලේ හැදී වැඩුණු පිරිසක් ලෙස සොයුරු පෙමින් නැවතත් රට ගොඩනැංවීමට උත්සුක වෙමු.   




                                                                                    








ශෙහානි ලියනගේ
                                                                                   
 කැළණිය විශ්ව විද්‍යාලය



ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...