Sunday, May 14, 2017

    
මැණික් කර්මාන්තයේ ඇසි දිසි තැන්
  

  


   මන්මුලා වෙලා මේ රට           පහු  වෙනවා
   අම්මලා පෙව් රන්කිරි සිහි              වෙනවා
   අයියලා ඉඳන් මට තව දුක             දෙනවා
   බන්ගලා වගේ දෝනාවේ                යනවා

                               



  යනුවෙන් ඉහත දැක්වෙන්නේ පතල් කවියකි. පතල් හෑරීම බැඳී පවතින්නේ මැණික් කර්මාන්තය සම`ගයි. මැණික් කර්මාන්තයේ ඓතිහාසික පසුබිම පිළිබඳව විමසීමේදී වාණිජ කටයුතු සඳහා ලංකාවට පැමිණි ගී්‍රකයන් ලංකාව තැප්‍රබොන් යනුවෙන් හැඳින්වීමෙන් පවා ගම්‍ය වනුයේ රක්ත වර්ණ සහ කහ වර්ණයෙන් යුතු මැණික් වර්ග එකල මෙරට පැවති බවයි. මෙරට විශේෂිත වූ සම්පතක් ලෙස රතු, කහ, නිල් වර්ණ මැණික් විශාල වශයෙන් පැවති බැවින් අරාබි ජාතික ඉබන් බතූතා තම ගවේෂණ වාර්තා වල ශී්‍ර ලංකාව සෙරන්ඩිබ් ලෙස දක්වා ඇත. ජනප්‍රවාද ද මෙම මැණික් පිළිබඳව බොහෝමයක් ඇත.

·                      *රාවණ මාලිගයෙහි බිත්ති වටිනා මැණික් ඔබ්බවා විසිතුරු කර තිබීම.
·                       *චූලෝදර, මහෝදර නාරජුන් අතර පැවති අරගලයට පාදක වූයේ මැණික් පුටුවකි.
·                       * ශ්‍රී පාදස්ථානයේ සිරිපතුල පිහිටුවා ඇත්තේ මැණික් මතයි.

දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය තැනීමේදී නිදන් වස්තු ලෙස මැණික් තැන්පත් කළ බව ථුපවංශයේ දැක්වේ.දේශගවේෂක පර්සියානු ජාතික මාර්කෝ පෝලෝ ද මෙරට මැණික් කර්මාන්තය පැවතුන බව දක්වයි.
පූර්වෝක්ති මූලාශ්‍රගත තොරතුරු වලින් පැහැදිලි වන්නේ අනාදිමත් කාලයක සිට මැණික් කර්මාන්තය හා ඒ ආශ්‍රීත විවිධ නිර්මාණ මෙරට ප්‍රචලිත ව පැවති බවත් මැණික් කර්මාන්තය හා පැවති සංස්කෘතික සහසම්බන්ධතාවයන්ය.

මැණික් පිළිබඳ ඓතිහාසික තොරතුරු වල දැක්වෙන අන්දමට මැණික් ව්‍යාප්ත වූ ප්‍රදේශ විවිධ මැණික් වර්ගද මෙම යුගයන් වල පමණක් නොව දැනට පවා දැකගත හැකියි. මැණික් යනු භූගතව පවතින ඉතා දුර්ලභ දැඩි සංයුතියකින් යුත් ආකර්ශනීය වර්ණ යන්ගෙන් ඉතා වටිනා පාෂාණ විශේෂයකි. වෙනත් පාෂාණයන් හා ගත් කළ මැණික් ගලක් තුළ විශේෂ ගුණාංග 03ක් ඇත. එනම්, අලංකාරය, චිරස්ථීතිය සහ දුර්ලභත්වයයි.
මෙම මැණික් ව්‍යාප්තව පැවතුණු ප්‍රදේශයන් ලෙස සබරගමු පළාතේ රත්නපුර දිස්ති්‍රක්කය හැඳින්විය හැකිය. ඈත අතීතයේ සිටම රත්නපුරය මැණික් සඳහා ප්‍රසිද්ධය. ලංකාවේ රත්නපුරයම හැරුණු විට අවිස්සාවේල්ල, ඇලහැර, ඔක්කම්පිටිය, කතරගම, මාතලේ, පොළොන්නරුව, මිටියාගොඩ සහ හොරණ ආදී ප්‍රදේශයි. ලෝකය ගත් කළ ලෝකයේ මැණික් ලැඛෙන රටවල් ලෙස ප්‍රධාන තැනක් ගන්නේ ශ්‍රී ලංකාවයි. ඒ හැරුණු කොට බ්‍රසීලය හා මැඩගස්කරය වැනි රටවල් ද ප්‍රධාන තැනක් ගනී.
ඉහත දැක්වෙන රටවල් අතුරෙන් රත්නපුර දිස්ති්‍රක්කයේ පතල් කැනීමේදී ලැඛෙන මැණික් වර්ග රාශියක් ඇත. ඇතැම් මැණික් වර්ග ඉතා සුලභව දැක ගත හැකි අතර දුලභ මැණික් වර්ගද තිබේ. ප්‍රධාන මැණික් වර්ග, ශුද්ධ රත්න, අර්ධ රත්න යනුවෙන් ද ඇතැම්හු වර්ග කරති.

සුලබ මැණික් වර්ග         :- කොරණ්ඩම්, කි‍රසොඛෙරියල්, පළි`ගුඳ ඛෙරිල්, රබහ, ජාගුන්, තෝරමල්ලි, කිරිනචි, පඩියම්, පුනක්කන්

දුලබ මැණික් වර්ග          :- ඇන්සලූසයිට්, සිංහලයිට්, කොනරාබීන්, ඇපටයිට්, එකනයිට්, මානයිට්, සයොප්සයිට්

ශුද්ධ රත්න                     :- රතු කැට, පත්ම රාග, නිල්, සුදු නිල්, , පුෂ්පරාග, රතුනිල්, ආරානුල්

අර්ධ රත්න                      :- වෛරොඩි, පළිඟු, අධකෙස්, මරතන, කිරින්චි, තොරමල්ලි, රබහා, පුනක්කන්

                 
ලෝකයේ අතිශයෙන්ම දුර්ලභ මෙම මැණික් වර්ගය පරවි ලේ කැටියක පැහැය ගනී. කොරණ්ඩම් පවුලට අයත් මෙම මැණික් වර්ගයට වඩා පැහැයෙන් අඩු රතුවන් මිශ්‍ර කහ වර්ණ මැණික් පද්මරාග යනුවෙන් හැඳින්වේ. එය නෙළුම් මලේ පැහැයට සමාන වේ.

                නිල් කැට                       - මොණර විල් නිලට සමාන වර්ණයකින් යුතු නිල් කැට රක්වාන බ්ලු යනුවෙන්ද හඳුන්වති. ශී්‍ර ලංකාවේ ප්‍රධාන මැණික් වලින් එකක් ලෙස ගල් කැට හඳුන්වයි.

                පුෂ්පරාග                        - මෙය ප්‍රධාන කොටස් 03 කි. එනම්, කහ පුෂ්පරාග, සුදු පුෂ්පරාග සහ රතු පුෂ්පරාග යනුවෙනි.

                කාකනිල                       - කළු පැහැයෙන් යුතු කාකනිල් මැණික් විශේෂය නීල වර්ණය ඉතා අධික වීම නිසා මෙම කළු පැහැය ගන්නා බව පෙනේ. අපල උපද්‍රව සඳහා විශේෂයෙන් භාවිතා කරන කාකනිල් මැණික් කැටය තුළින් ආලෝකය ගමන් කිරීමක් හෝ විනිවිද පෙනීමක් නැත.

                ගෙවුඩ                           - මෙය කිරි පැහැයට හුරු මැණික් වර්ගයකි. මෙය මෑතකදී ශී්‍ර ලංකාවේ මහත් ප්‍රසිද්ධියට පත් වූ මැණික් වර්ගයකි. අධික තාපයෙන් රත් කිරීම ම`ගින් මෙය ගල් කැට බවට පත්වේ.

                ආරනුල්                         - මෙම මැණික් වර්ගය ඇතුළත් නුල් 06ක් එකවරම පිටතට විහිදී ඇත. ආරනුල් වර්ණය අනුව කොටස් 02කට ඛෙදේ. ආරනුල් නිල්, ආරනුල් රතු යනුවෙනි. මෙම මැණික් වර්ගය කපා ඔප දැමීමෙන් පසු තාරකා හැඩයක් ගනී.

                වෛරොඩි                     - මෙම මැණික මත පිහිටා ඇති රේඛාව මැණික් ගල ඒ මේ අත හැරවීමේදී වෙනස් වෙයි. බළල් ඇසකට සමාන වන හෙයින් කැට් අයි නමින්ද හැඳින්වේ. මෙහි වර්ග ලෙස කනක වෛරොඩි, සූර්ය වෛරොඩි, ස්වර්ණ වෛරොඩි සහ ක්ෂීර වෛරොඩි ආදී වශයෙනි.

 ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය හා බැඳුණු ඇදහිලි සහ විශ්වාසයන් බොහෝමයක් පවතී. ඊට මූලික හේතුව වන්නේ භූගතව පවතින මැණික් කැනීම් වලදී අපේක්ෂිත සම්පත් ලබා ගැනීමයි. මැණික් පතල් කර්මාන්තය හා බද්ධ වූ පතල් වර්ගයන් ලෙස ඇඳුම් පතල්, පතහා පතල්ගොඩ පතල්, තට්ටු පතල්, තෝරන පතල් වේ. මැණික් හෑරීමේදී හෙවත් පතල් කැණීමේදී හමුවන ඉල්ලම් බාහිර ලක්ෂණ අනුව වර්ග කොට ඇත. 

 මැණික් කර්මාන්තයේදී පතල් කැපීම, මැණික් ඉඩම් සඳහා, මැණික් කැපීම සඳහා, මැණික් වෙළඳාම සහ මැණික් වෙන්දේසි කිරීමට බලපත්‍ර අවශ්‍ය වේ. මැණික් ගල ඉතා වටිනා සම්පතක් බැවින් ඒවා ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ සංස්කෘතියක් හා ඒ මත බිහි ව ඇති ඇදහිලි සහ විශ්වාසයන් බොහෝමයක් ප්‍රචලිතව ඇත. පතල් හෑරීමේදී කිසියම් ධනයක් හෝ වස්තුවක් ලැබීමට නම් ඒ සඳහා කිසියම් පරිත්‍යාගයක් කළ යුතු යැයි අදහසක් ඇත. මෙනිසා විවිධ චාරිත්‍ර වාරිත්‍රයන් සිදුකරයි. එනම්,

·        * පතල් හිමියාගේ ජන්ම පත්‍රය පරික්ෂා කර ගැනීම.
·         *සුභ හෝරාවක් තෝරා ගැනීම.
·         *අංජනම් එළි/පේන බැලීම.
·         *භාරහාර වීම.
·         *දෙවියන් උදෙසා පහන් දැල්වීම.

ඊට අමතරව පතල කැපීම සඳහාත් භූමීය සම්බන්ධයෙන් කෙරෙන වත්පිළිවෙත් රාශියකි. එනම්, බහිරව පූජාව, රාහු පූජාව, දේව පූජාව, දෙහි කැපීම, නවග්‍රහ පුජාව, කුමාර ධාන්‍ය දීම, කිරි අප්පා ධාන්‍ය දීම සහ වෙනත් විශේෂ වත්පිළිවෙත්ය.

ශ්‍රී ලංකාව ගත් විට මැණික් වෙළඳාම බහුලව සිදුකරන රටකි. රත්නපුර නගරය සහ ඒ අවට  ප්‍රදේශවල වැඩිවශයෙන් මැණික් වෙළදාම සිදු කරයි. ඊට අමතරව ලංකාවේ බොහෝ ප්‍රදේශවලද මැණික් වෙළදාම පැතිර පවතිනු දැකගත හැකිය. මැණික් වෙළදාම ප්‍රධාන කොටස් 02 ක් යටතේ සිදු කෙරේ. 

01. කපා ඔප නොදැමු මැණික් වෙළදාම
02. කපා ඔප දැමු මැණික් වෙළදාම

 මැණික් කපා ඔප දැමු මැණික් කැට අලෙවි බහුලව සිදුවෙයි. මැණික් කැපීම සහ ඔප දැමීම තුළින් මැණික් ගලක අලංකාරය වැඩිවන අතර එහි වටිනාකම ද ඉහළ යනු ඇත. මැණික් ගලක ඇති පලූදු හා බිදුනු දෝෂ ඉවත් කර පැහැදිලි මැණික් ගලක් ලබා ගැනීමට ද මෙහි එක් අරමුණකි. මැණික් ගලක කැපීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග 03 කි.

01. පෙර හැඩ ගැන්වීම
02. කැපීම
03. ඔප දැමීම


                අප අතීතයේ සිටම මැණික් කැපීමේ ක්‍රම භාවිත කළ බවට ඓතිහාසික සාක්ෂි දරයි. මැණික් ඔප කරන්නා මැණික් වලින් ආභරන  සාදන්නා මණිකාර යනුවෙන් ශබ්දකෝෂයේ හදුන්වා තිබේ.
  
                මැණික් කැපීම සදහා භාවිතා කරන දේශීය කැපුම් යන්ත්‍රය හනපෝරුවනමින් හැදින්වේ. දැනුදු අප රටේ මැණික් කැපීම  හා ඔප දැමිම සදහා මෙම පාරම්පරික ක්‍රමය භාවිතා කරනු ලබයි. මෙම උපකරණය අගල් 10 ක් පමණ උස අඩි 02 ක පමණ දිග ඇතිව ලීයෙන් සකස් කරන ලෑලී රාමුවක් වැනි දෙයකි. ලී රාමුවේ ආධාරකයක් හරහා ලීයෙන්ම තනන ලද සිලින්ඩරයක් යොදා ඇති අතර මෙම සිලින්ඩරයේ කට්ට කපා ඇත. දණ්ඩක කෙළවර ගැට ගැසූ ලණුවක් ආධාර කර ගැනීමෙන් මෙම උපකරණය ක්‍රියාත්මක කර ගැනීමට භාවිතා කරයි. ලී රාමුවට පිටතින් පිහිටන සේ ඊයම් තැටියක් සවි කොට ඇත. ලණු දෙකෙළවර ගැට ගසා ඇති ලී දණ්ඩ ඉදිරියට හා පසුපසට ගමන් කරවීමෙන් ලාකඩ යොදා ඇති ලී කූරක මැණික් සවි කරනු ලබයි. චලනය වන ඊයම් තැටිය මත මැණික් ඛණිජය සවි කරනු ලබයි. චලනය වන ඊයම් තැටිය මත මැණික් ඛණිජය මෘදු ලෙසත් දැඩි ලෙසත් ස්පර්ශ වීමට ඉඩ සලස්වයි. මෙහිදී පට්ටම රහිතව හෝ සහිතව මැණික් ඛණිජය කපනු ලබයි. කැපීමේදී කාබොරන්ඩම්නට්” කුඩක් ජලය සමඟ මිශ්‍ර කර ඊයම් තැටියේ තවරයි. අනාදිමත් කාලයක සිට මේ ක්‍රමය භාවිතා වේ.

පට්ටම් ක්‍රමය හා පට්ටම් රහිත ක්‍රමය යනුවෙන් මැණික් කැපීම දෙයාකාර වේ. පට්ටම් රහිත ක්‍රමය මලූත්කම් ක්‍රමය යනුවෙන්ද හඳුන්වනු ලබයි.පාරදෘශ්‍ය මැණික් විශේෂයෙන්ම උපරිම වර්ණයක්, උපරිම පරාවර්තනයක් ලබා දීම සඳහා පට්ටම හෙවත් සමතල පෘෂ්ඨය ඇති වන සේ කපනු ලැබේ. මෙය පට්ටම් ක්‍රමයයි. සමහර මැණික් ඛණිජයන් හි වක්‍රාකාර පිහිටීම පමණක් ඇති වන සේ කපා ඔප දමනු ලැබේ. එවිට ඒ මැණික් කැට මත තාරකා ලක්ෂණය හෝ වෛරොඩි ලක්ෂණය මතුකර ගත හැකි වේ. එම ලක්ෂණය ලබා ගැනීම සඳහා යෙදිය යුතු කැපුම් ක්‍රමය මලූක්කම් ක්‍රමය වේ. පට්ටම් ක්‍රමයේදී යොදන ආකෘතිය අතර දීප්තිමත්ව කැපුම්, පියවර කැපුම් හා රෝස කැපුමයි. මලූක්කම් ක්‍රමයේදී සරල මලූක්කම් හා ද්විත්ව මලූක්කම් යනුවෙන් දෙවර්ගයකි. පට්ටම් ක්‍රමයේදී භාවිතා කරන රෝස කැපුම (රෝස් කට්) සාමාන්‍යයෙන් දියමන්ති තාරකා හා මැණික් සඳහා යොදනු ලබයි. රෝස කැපීම පාදයේ සිට ඉහළට නැග යන්නා වූ ඒකාකාරී ත්‍රිකෝණ රාශියකින් යුක්ත වන අතර තියුණු මුදුනකින් කෙලවර වේ. මෙහිදී පාදයෙන් පාදය විහිදී ගිය ද්විත්ව රෝස් කැපුමක්ද වේ.

මලූක්කම් ක්‍රමයේදී භාවිතා කරන ද්විත්ව මලූක්කම් ක්‍රමය වන්නේ මැණික් ගලේ උඩ පැත්ත වක්‍රකාරව උස් වූ (උත්තල) හෝ නැමී ගිය (අවතල) හැඩයකින් යුක්ත වන සේ කපනු ලැබීමයි. එය උඩ පැත්තට වඩා අඩු වූ වක්‍රතාවයක් වන සේ කපනු ලැබේ. මෙහිදී හැඳින්වූයේ ප්‍රධාන මැණික් කැපුම් ක්‍රම දෙකයි. මීට අමතර ප්‍රධාන කැපුම් ක්‍රම දෙකට අයත් තවත් ආකෘති පවතී. මැණික් ගලක නියම අලංකාරය දැකිය හැක්කේ කපා ඔප දැමීමෙන් අනතුරුවයි. මැණික් ඔප දමන උපකරණය වෙනස් වේ. මෙම යන්ත්‍රය සැකසී ඇත්තේ පොළවට සමාන්තරව කැරකෙන තඹ තැටියකින් හා ලී රෝදයකිනි. මෙහිදී ලී රෝදය ආධාරයෙන් තඹ තැටිය කැරකේ. ඒ සඳහා තඹ තහඩුව හා ලී රෝදය ලණුවක් මඟින් සම්බන්ධ කර ඇත.

මෙම යන්ත්‍රය මේසයක් මත සවිකොට වෙනත් අයෙක් යොදා ලී රෝදය කරකවනු ලබයි. සිරස් යකඩ කූරක් තඹ තහඩුව ආසන්නයේ සවි කොට ඇත. ඒ තුළ ඉහලට හෝ පහළට ගෙන යා හැකි හරස් ආධාරකයකි. එහි කෙළවර ලාකඩ යොදා ඇති අතර ඔප දැමීම කළ යුතු රළු පෘෂ්ඨ සහිත මැණික් ගල එහි රඳවා ඇත. එක් බරකට පට්ටම බැගින් කපන ලෙස මැණිකෙහි ඇති පට්ටය සියල්ලම කරකැවෙන තඹ තහඩුවේ ස්පර්ශ වීමට සලස්වා ඔප දැමීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කෙරේ. මෙහිදී වඩී නමැති මිශ්‍රණයක් යොදාගනී. මෙම මිශ්‍රණය තනනු ලබන්නේ දහයියා පස් හා පිටි ජලය සමඟ මුසු කර අඹරා ගුලියකට පුළුස්සා ගැනීමෙනි. මලූක්කම් ක්‍රමයට කපන ලද මැණික් සඳහා මෙම උපකරණය භාවිතා කළ නොහැකි අතර සහ මැණික් කපන උපකරණයට ඊයම් තැටිය වෙනුවට තඹ තහඩුවක් යොදා ප්‍රයෝජනයට ගනී. වර්තමානයේ මේ සඳහා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරනු ඇත. මැණික් ගලක හිසක වටිනාකම ඇතිවන්නේ කපා ඔප දැමීමෙන් අනතුරුවයි. ඒ නිසා මැණික් ඛණිජය කැපීම මෙන්ම ඔප දැමීමද මැණික් කර්මාන්තයේ වැදගත් අංශයක් වෙයි.

ස්වර්ණාභරණ සඳහාද මැණික් යොදා ගනු ලැබේ. රන් ආභරණ සඳහා වටිනා නිල් මැණික්, රතු මැණික් සහ වෛරොඩි, පුෂ්පරාග ආදී මැණික් සුලභව ඔබ්බවා තිබේ. උසස් ප්‍රමිතියේ ගල් බැඳීමේ නිමාව ඉහළ මිලකට ආභරණයක් මිල කිරීමේ දර්ශකයක් ලෙස පවතී. මැණික ගල් බඳින ශිල්පියා හට මැණික් පිළිබඳව දැනුමද අත්‍යවශ්‍යය. මැණික් වල දැඩියාව මැණික් කැපුම් රටා, හැඩය, රොන්දේසිය, වර්ණය, ප්‍රමාණය ආදී දේවල් ගල් බැඳීමේදී අවධානය යොමු කළ යුතුය.

පතල් කර්මාන්තය ගත් කල ඊට අදාල වාක් කෝෂයක් ඇත.

අඩි කන්වැල      - දබර කූඩයේ දෙපස වැලිවලින් සකස් කරන ලද තොණ්ඩු දෙක කන්වැල පොල්ල     - දෝනාපටි මාලාව මට්ටම් කර වහල් පෙල්ලට සමාන්තරව යොදන ලීය අඩි පොල්ල නම් වේ.   
ඇලපත             - දෙපස බිත්ති
ඉල්ලම් කටක    - පතලයෙන් ඉවතට ගනු ලැබූ ඉල්ලම් ගොඩ ගසන ස්ථානය
වේ.
ඉල්ලම් කූර        - ඉල්ලම් කැඩීම සඳහා යොදා ගන්නා වානේ වලින් සකසා ඇති කූර


ඊට අමතරව ඉල්ලම්, කට්ට මිම්ම, කට්ට කඳන් කමිටුව, කන්වැල, කම්බිලි කූර, කනු පෙත්ත, කනු ලෑල්ල, කැකිල්ල, කැට බේරෙනවා, කැලී රිටි, ගමන් දෝනාව, ගල් දෝරුව, ගඟ අඳිනවා, දලං, ඩොංකි ගනිනවා, ටොක්ක, දඟර අග, දබර රොඩියාව, ආදී වාග් මාලාවන් පතල් කර්මාන්තයේදී යොදාගනී.

1 comment:

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...